Tuesday, March 9, 2010

සමබිම සෙන්චරිය

කෙතරම් පළපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට වුවද සෙන්චරියක් දැමීම හෙවත් ශතකයක් ලබා ගැනීම ආඩම්බරයට සහ ආහ්ලාදයට හේතුවකි. එසේ නම් නවක ක‍්‍රීඩකයෙකු තම කුළුඳුල් ශතකය වාර්තා කිරීම කෙතරම් ප‍්‍රීතිදායක මොහොතක්දැයි කීමට ටීකා ටිප්පනි අනවශ්‍යය. එම කුළුඳුල් ශතකය ලබා ගන්නා ලද්දේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණ තිල්ලක් මත, ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට සහ අති දක්ෂ පන්දු රකින්නන් පිරිසකට මුහුණ දෙමින් නම් නිහතමානී ආඩම්බරයක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. පිතිකරුවා අනෙක් අන්තයේ සිටින තම සහායක පිතිකරුවා බදා වැළඳ ගෙන පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්නේ එබැවිනි.
එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කණ්ඩායම් ක‍්‍රීඩාවකි. ශතකය වාර්තා කිරීමෙන් ප‍්‍රමෝදයට පත්ව අපරීක්ෂාකාරී පහරවල් එල්ල කිරීමට උත්සාහ ගත්තොත් නිරපරාදේ දැවී ගොස් කණ්ඩායම තරගයෙන් පරාජය විය හැකිය. එබැවින් පේ‍්‍රක්ෂකාගාරයේ උණුසුම් අත් පොළසන් නාදය පිළිගැනීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ සීමාවට ගොස්, හිස නමාගෙන සුපරීක්ෂාකාරීව නැවත පිති හරඹය ඇරඹිය යුතුය. ශතකය අමතක කොට නැවතත් එකෙන් පටන් ගත යුතුය.
‘සමබිම’ ශතකය වාර්තා කළ මේ මොහොතේ අපි ද නිහතමානී ආඩම්බරයකින් යුතුව අපගේ පෑන් ඔසවා පාඨක ඔබ සැමට ආචාර කරමු. ඔබගේ ඔල්වරසන් ලැබුණත් නැතත් හිස නමාගෙන තරගයේ ඉතිරි කොටස ක‍්‍රීඩා කිරීම පිණිස නැවත ඉනිම අරඹන්නෙමු.
ලබන සතියේත් හමුවෙමු.

සමබිම වෙනුවෙන්
රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාමූහිකය
2010 මාර්තු 03

View Pdf

No comments: