Friday, April 2, 2010

ශිෂ්ඨ සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ලංකාවේ මානව හිමිකම්වල වැදගත්කම ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින අය තම රට තුළම සුළුතරයක් බවට පත්වී ඇත. වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන දෘෂ්ටිවාදය, බලාධිකාරය සහ ලෝක සම්මතය අනුව මානව හිමිකම් යනු යටත් පිරිසෙයින් ගත් කළ හිරිහැරයකි; උපරිම වශයෙන් ගත් කළ අපේ රටේ පුරවැසියන් අතුරින් බහුතරයක් විසින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තෝරා පත් කරගත් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගෙන එන තර්ජනයකි.
අපේ රට පාලනයෙහිලා මානව හිමිකම්වල ඇති මූලික වැදගත්කම අප විසින් අවධාරණය කරනු ලබන මේ මොහොතෙහි අපගේ සහෝදර පුරවැසියන් අතරින් බහුතරයකට මානව හිමිකම් පිළිබඳව අමතක කිරීමට අවශ්‍යව ඇත්ද යන ප‍්‍රශ්නය මෙහිදී අප විසින් අපගෙන්ම විමසිය යුතුය. දැනට රටේ පවතින ජනප‍්‍රිය පිළිගැනීම හෙවත් ලෝක සම්මතයට අනුව කියැවෙන්නේ අප රටේ පුරවැසියන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්තවාදය, බෝම්බ පිපිරීම්, තුවාල ලත් පුද්ගලයන්, අතුරුදහන්වීම්, ජාතික ආරක්ෂක නීති යොදාගෙන කරනු ලබන රඳවා තබා ගැනීම් ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ අඳුරු අතීතය අමතක කොට ඉදිරි අනාගතය වෙත පිය නැගීම බවයි. ඉතිං අපි අපේ රට තුළම සුළුතරයක් බවට පත්ව ඇත.

Read more...
View Pdf....

සමබිම මංගල කලාපය නිකුත් වෙයි


‘සමබිම’ මාසික පුවත්පත දොරට වැඞීම සහ ‘සමබිම’ වෙබ් අවකාශය අන්තර්ජාලයට මුදා හැරීම 2010 මාර්තු 26 වෙනි සිකුරාදා කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ඔලිම්පික් නිවසේදී සිදුවිය.
රාවය සමඟ ‘සමබිම’ කලාප 100ක් පළ කිරීම හෙවත් ‘සමබිම සෙන්චරිය’ සැමරීමද මානව හිමිකම් පිළිබඳ ත්‍රෛමාසික සීමාවාසික පාඨමාලාව සම්පූර්ණ කළ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන් හට සහතික පත් පිරිනැමීමද මේ අවස්ථාවේදී සිදුවිය.
‘සමබිම’ වෙබ් අවකාශය විවෘත කිරීම අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී. සීමාවාසික පුහුණුව ලැබූ විද්‍යාර්ථීන්ට සහතික පත් පිරිනැමීම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, වර්ගවාදයට සහ වෙනස්කොට සැළකීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සමකැඳවුම්කාරිනී ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිය සහ සමාජ භාරයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ බී.ස්කන්දකුමාර් සහ රයිට්ස්නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් සිදු කරන ලදී.
නාරද බක්මීවැව විසින් මෙහෙය වූ මෙම උත්සව සභාව අමතා රාවයේ සම කර්තෘ නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන, චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු දෙසුම් පැවැත්වූහ.
උත්සවයේ සුවිශේෂ අංගය වූ ‘සමබිම’ මාසික පුවත්පතෙහි මංගල කලාපයේ පළමු පිටපත එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා වෙත පිළිගන්වන ලදී.

Read more...
View PDF..

අපි සර්කස් කණ්ඩායමක්

ජනාධිපතිවරණයෙන් පසු ඇති වෙච්ච සංක‍්‍රාන්ති කාලෙදී මම සර්කස් එකක් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායම ගමෙන් ගම ගිහින් සැමට සර්කස් පෙන්වන අතරේ අප ජීවත්වන ප‍්‍රදේශයටත් ඇවිත් කූඩාරමක් අටවා ගෙන තිබුණා.
සර්කස් බලන්න ආපු බාල, මහලු, තරුණ, ස්ත‍්‍රී, පුරුෂ, වැදගත්,නොවැදගත් සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා හිටියේ සර්කස් එක පටන් ගන්න තුරුයි.
පළමුවෙන්ම තිබුණෙ තරුණ කාන්තාවක් කම්බියක් මත කුඩයක් ඉහළ ගෙන එහා මෙහා ගමන් කරන දර්ශනයක්. ඊට පස්සේ තරුණයෙක් ඒ කම්බිය උඩ බයිසිකලයක් පදිනවා. උස යකඩ බම්බු මත නැගුණ කරණම්කරුවන් ඇඟ කිලිපොළා යන අන්දමේ කරණම් ගහනවා බලාගෙන ඉන්න අපි අත් පොළසන් දෙනවා. එත් හැම තිස්සෙම හිතනවා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. හරියටම රිදී රත්තරන් අශ්වයා පිට නැඟලා කුමාරිගේ ඇඟිල්ලේ දිලිහෙන පේරැස් මුද්ද ගන්නට තට්ටු හතක් උඩට අශ්වයා පන්නපු ඉවානුෂ්කා දිහා බලා හිටපු මිනිස්සු වගේ අපි පුදුමයෙනුත්, බයෙනුත් බලාගෙන ඉන්නවා.

Read more...
View Pdf...

මානව හිමිකම් කොමිසමේ අයිතිය පුරවැසියන්ටයි

බී.ස්කන්දකුමාර්
නීතිය හා සමාජ භාරයෙහි
වැඩ බලන විධායක අධ්‍යක්ෂ

”ජාතික මානව හිමිකම් කොමිසම ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අයිති ආයතනයක්. එය යම්කිසිවකු විසින් අපයෝජනයට ලක් කිරීම, සූරා කෑම හෝ එම හේතු මත අපවාදයට පාත‍්‍රවීම නිසා අපි එයට පිටුපාන්නේ නැහැ. අප කොමිසම දෙස බලන්නේ මානව හිමිකම් ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වශයෙන්. සත්තකින්ම එහි භූමිකාව සිවිල් සමාජ සංවිධානවල භූමිකාවට වඩා වෙනස්. නමුත් මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ආයතනයක් සතුව ඇත්තේ එකම පරමාර්ථයක් වන අතර අප සියළුදෙනාම එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට යන ගමන් මගේ සහකරුවන්ය. රාජ්‍යයට එකක් හා රාජ්‍ය නොවන සංවිධානවලට තවත් එකක් වශයෙන් මානව හිමිකම් නිර්ණායක දෙකක් නොපවතින අතර ඇත්තේ එකම සාර්වත‍්‍රික නිර්ණායකයක්.
සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම එකිනෙකාට සලකා ගත යුත්තේ මිතුරු ආකල්පයෙන්. මිතුරන් හැමවිටම එකිනෙකා හා එකඟ නොවන නමුත් මිතුරන් එකිනෙකාගෙන් පෝෂණය වේ. සිවිල් සමාජ සංවිධාන දුර්වල වුවහොත් එය පෙරලා මානව හිමිකම් කොමිසම දුර්වල වීමටද බලපාන අතර කොමිසම දුර්වල වීම සිවිල් සමාජ සංවිධානවලටද අහිතකර ලෙස බලපායි.”

Read More...
View Pdf...