Wednesday, June 11, 2008

වෙස්මුහුණක් පැළැඳි පුද්ගලයෙක් ත්‍රස්ත උපක්‍රම යොදාගනිමින් චාන්සලර් ඇඩම්ගේ ෆැසිස්ට් පාලනයට විරුද්ධව සටන් කරයි. ඔහු හදුන්වාගන්නේ ඪ නමිනි. 17 වන සියවසේ ජීවත් වූ ගයි ෆෝක්ස් මෙන් ඔහු පාර්ලිමේන්තුව පුපුරවා හැරීමට සැරසෙයි.

චාන්සලර් ඇඩම්ගේ රජය ඪ හඳුන්වන්නේ මහජන ඡන්දයෙන් බලයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයට විරුද්ධව කැරළි ගසන ත්‍රස්තවාදියෙකු වශයෙනි.

එහෙත් අනාගත බ්‍රිතාන්‍යය පාලනය කිරීම සඳහා මහජනයා තෝරා පත් කරගෙන ඇත්තේ ෆැසිස්ට් රජයකි. එය වධක කඳවුරු වලින්ද අසාධාරණ දඬුවම් පැමිණවීම් වලින්ද සුළුතර ජනකොටස් කෙරෙහි අගති ගාමීත්වයෙන්ද කප්ගසා ඇත.

ඪ විමුක්ති කාමියෙක් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදියෙක්ද ? නැත්නම් ත්‍රස්ත උපක්‍රම පාවිච්චි කරන විමුක්ති කාමියෙක් ද ?

ඪ විසින් රහස් පොලිස් අත් අඩංගුවෙන් බෙරගන්නා ඊවි හැමන්ඞ් නම් සුන්දර යුවතිය ඔහුගේ අරගලයේ කොටස් කාරියක් වේද? නැත්නම් සුන්දර ඊවී නිසා ඪගේ අරගලය අවසන් වී ඔහු සමාජයට අනුගතවේද?




ජනාධිපතිතුමා ගැන අපට කණගාටුයි.

ශාන්ත. ඩී. පතිරණ
අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමය
ප්‍රධාන ලේකම්


ඔබ මානව හිමිකම් ක්‍රියාදරයෙක් බවට පත් වුණේ කෙහොමද?
මමත් වින්දිතයෙක් නිසා. මේ ක්ෂේත්‍රයට මං යොමු වුණේ මගේ සහෝදරයා අතුරුදහන් වීමෙන් පසු.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඔබ මුලිකවම මැදිහත් වන්නේ, පුද්ගලයන් අතුරුදහන්වීම සම්බන්ධයෙන්. අතුරුදහන් වුවන් වෙනුවෙන් ගොඩනැගුණු මාපිය දුදරු සංගමයේ ඔබ ආරම්භක සාමාජිකයෙක්.
ඔව්. මම මීට සම්බන්ධ වුණේ 1996 දී. ඊට පෙර මගේ පියා විජයදාස පතිරණ මෙහි කටයුතු කලා.

මෙම සංගමයේ ආරම්භය දේශපාලන පක්ෂයක් හා බැඳී තියෙනවා.
ඔව්. නව සමසමාජ පක්ෂය තමයි අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංගමයේ ආරම්භක පසුබිමේ හිටියේ. ගොඩක් ක්ෂේත්‍ර නිහඬව ඉන්න අවධියක පක්ෂය ඒ වෙනුවෙන් විශාල ලෙස මැදිහත් වුණා. ඒ හඬ අතුරුදහන් වුවන්ගේ පවුල් ඒකරාශී කිරීමට බොහෝ සේ උපකාරී වුණා.

ඔබත් එදා නව සමසමාජ පක්ෂ සාමාජිකයෙක්ද?
නැහැ. මම දේශපාලන ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කළේ නැහැ.

එදා ගොඩනැගුණු මාපිය දුදරු සංගමයට නිශ්චිතව ඔබ දුන් දායකත්වය කියන්න.
නිශ්චිතව කියනවානම් මම එයට නායකත්වය දුන්නා. නැත්තේ නැහැ. අතුරුදහන්වුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ප්‍රශ්ණ නිසියාකාරව අදාළ ක්ෂේත්‍රයන්ට යොමු කර සහනයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙල යටතේ මම කටයුතු කළා.

අද වෙනකොට අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංවිධානය කියා එකක් නැහැ. ඇයි එහෙම වුණේ?
බලය සම්බන්ධයෙන් එකිනෙකා අතර ඇතිවු මත ගැටුම් තුළින් පැන නැගුණු අභ්‍යන්තර ප්‍රශ්ණ කීපයක් නිසා අපි අද අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංවිධානය යන නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සංගමය යන නමින් කටයුතු කරනවා. අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංගමය අද වැළලිලා ගිහිං. නමුත් එය කිසිසේත් වර්ථමානයේ අපේ සේවාව අඩපණ කිරීමට හේතුවක් නොවෙයි.

අභ්‍යන්තර ගැටලූකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න උත්සාහ ගත්තාද?
ඔව්. අපිට විරුද්ධ අය අපෙන් අයින් වෙලා තියෙනවා. අපිට හිතවත් අය අපිත් සමඟ එකතු වෙලා තියෙනවා.

එම උත්සාහයට බාහිරින් ඇතිවන ගැටලූ මොනවාද?
අපේ ක්ෂේත්‍රයට ඇති අවධානය අඩු වීම වගේම රජය අපි දිහා බලන ආකාරයත් ලොකු ගැටලූවක්. අද අපි අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ පාර්ශ්වයෙන් සතුටට පත් නොවන කාරණයක් වෙලා. අපි ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම විරුද්ධවයි ඔවුන් කටයුතු කරන්නේ.

ඔබ දේශීය මෙන්ම කලාපීය වශයෙනුත් අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් අනෙක් රටවල්වල ප්‍රතිචාර කෙසේද?
අපේ රටේ අතුරුදහන්වීම් සිදුවුනාම ආණ්ඩුව යම් යම් පැලැස්තර දානවා. අසාර්ථක උත්සාහයන් වුවත් යම් වගකීමක් දරනවා කියලා කියන්න පුලූවන්. නමුත් අපිට සාපේක්ෂව තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි බොහෝ රටවල්වල රජයන් ඉතාමත් අඩු සැලකිල්ලක් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තියෙන්නේ.

ඒ කියන්නේ අපිට අපේ රටේ තත්ත්වය ගැන සතුටුවෙන්න පුලූවන් කියලද?
නැහැ. අපේ රජය ඒ වෙනුවෙන් යම් යම් දේ කරනවා කියලා පෙන්නුවාට ඇත්තටම කරන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ අපි ආසියාවේ අනිත් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා සෑහීමට පත් විය යුතුයි කියන එක නොවෙයි.

අද බහුජන ව්‍යාපාර ගොඩ නැඟීමට දේශපාලන පක්ෂ වල සහාය අත්‍යාවශ්‍ය වෙලා. මේ දෙපිරිස අතර සම්බන්ධය කෙබඳු විය යුතුද?
බහුජන ව්‍යාපාරවල ශක්තිය පිළිබඳ ගැටලූවක් තියෙන නිසා ඒවා ගොඩනැ‍ෙඟන්නට දේශපාලන පක්ෂ වල සහාය අවශයි. නමුත් දේශපාලන පක්ෂ බහුජන සංවිධාන සමඟ එක් වීමෙන් කරන උපකාර තුළින් වින්දිතයෝ දේශපාලන අතකොලූ හෝ ඉලක්ක වීම මම අනුමත කරන්නේ නැහැ.

අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනා එල්ල වන වත්මන් රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා අතුරුදහන්වුවන්ගේ හිමිකම් වෙනුවෙන් පෙරමුණේ සිටි අයෙක්. ඔහු බලයට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරූ ඔබ සංවිධානය අද ඔහුට එල්ල වන චෝදනා ගැන මොකද කියන්න පුලුවන් ?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තත්ත්වය ගැන අපි බොහොම කණගාටු වෙනවා. අපේ සංවිධානයේ පවුල්වල සාමාජිකයෝ එදා අධිෂ්ඨාන පුජා කලා එතුමා ජනාධිපති වෙන්න කියලා. ඒවාට අපිත් අනුබල දුන්නා. ඒ අනුබල දුන්නේ ස්වාමිවරු, පුතුන් අහිමි වු බිරින්දෑවරු, මාපියවරු පිරිසක් නැවත මේ රටේ ඇති නොවේවා කියලා. මට හිතෙනවා ජනාධිපතිතුමා යම් බලවේගයකට අහුවෙලා කියලා. අනෙක එතුමා ජාතිවාදී හැඟීම් තුළ එල්බ ගෙන ඉන්නවයි කියලා. මොකද එතුමා සිංහල ජනතාව අතුරුදහන් වෙනකොට හරියට දැගළුවා. දැන් දෙමළ ජනතාව ඉතාම මිලේච්ඡ විදිහට අතුරුදහන් වෙනකොට එතුමාගේ හඬ එච්චර ශක්තිමත් නෑ. කොටින්ම හඬකුත් නෑ. ඒවාට අනුබල දීමක් තමයි තියෙන්නේ.

කොතනද අසමත් වීම?
අසමත් වීම යුද්ධය පවතින්න ඕන කියන හැඟීම තුළයි.

රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඔබගේ සහ අනෙක් මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ඉදිරි න්‍යාය පත්‍රය කුමක් විය යුතුද?
මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අද රටේ පවතින ව්‍යවස්ථාව සහ අණපනත්වල ශක්තිමත්භාවය ඇති වෙන්න ඕන. දේශපාලන හස්තය රටේ නීතියට කොහෙත්ම සම්බන්ධ වෙන්න බැහැ. එය ස්වාධීන විය යුතුයි.

ඒ වෙනුවෙන් ඔබගේ යෝජනා හා ක්‍රියාකාරකම් මොනවාද?
අපේ විෂය පැත්තෙන් අපි කටයුතු කරනවා. අතුරුදහන් වීම් කියන අපරාධය අපරාධයක් ලෙස නීතිය පිළිගත යුතුයි. ඊට වගකිව යුතු සියලූම අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගත යුතුයි. අතුරුදහන්වීම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට ආණ්ඩුව එකඟ විය යුතුයි කියලා අපි බලපෑම් කරගෙන යනවා. දැනට අතුරුදහන්වීම් පිළිබඳ කොමිසමක් තිබුනට නඩු පැවරීමේ බලය එයට නැහැ. නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඔවුන් නඩු පවරන කොට ඒ ගැන පරීක්ෂණ පවත්වන්නේ ආරක්ෂක අංශ. එතකොට වෙන්නේ අපරාධ වලට වගකිවයුතු අයම ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමයි. ඒ නිසා දැනට පවතින අතුරුදහන්වීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

Monday, June 9, 2008

ඔන්න, සුද්දා බලාගෙන ඉන්නවා.

සුදර්ශන ගූනවර්ධන...................

චිත්‍රපටයක ශෘංගාරාත්මක ජවනිකාව රඟපාන නලූ-නිළි යුවළක් ගනිමු. ඔවුන් තමාට අදාළ ජවනිකාව රඟපාන විට කැමරා(කරුගේ) ඇස තමා වෙත යොමු වී ඇති බව ඔවුහු දනිති. එනම් ඔවුන් කැමරාවේ දැක්මට හසු වී ඇත.
තේ වත්තක දලූ නෙළන ගැහැණුන් පිරිසක් තම කාර්යය කරන විට කංකානි හෙවත් වැඩ සුපරීක්ෂක තමා කරන කාර්යය දෙස බලා සිටින බව දනියි. එනම් ඔවුන් කංකානිගේ දැක්මට හසු වී ඇත.

සියවස් ගණනක් සුදු හම ඇති අධිරාජ්‍යවාදීන් යටතේ ජිවත් වු යටත්විජිත වැසියන් වන අපි මහජන අවකාශය තුළ අප සිදු කරන ක්‍රියාකාරකම් සුදු අධිරාජ්‍යවාදී හාම්පුතාගේ සුපරීක්ෂණයට හෙවත් දැක්මට ලක්ව තිබෙනු අත්දැක පුරුදුය. වසර 60 කට පෙර සුදු හාම්පුතා භෞතිකව මෙරට හැර ගියද තවමත් ඔහුගේ අවතාරය, අප මනසේ හොල්මන් කරන බැවින් අප අවිඥානිකව සිතන්නේ තවමත් ඔහුගේ දැක්මට අප ලක් වී ඇති බවයි.

නිදහස ලබාගෙන රටේ පාලනය ස්වදේශිකයන් විසින් භාරගත් දා සිට අප කටයුතු කර තිබෙන්නේ සුදු මිනිසාගේ දැක්ම අප වෙත වැටී ඇත යන විශ්වාසයෙනි. එබැවින් අපි මහජන අවකාශය තුළ නැත්නම් ප්‍රසිද්ධියේ කථා කරන කටයුතු සුදු මිනිසා විසින් අපට සාදා දෙන ලද සම්මතයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බව පෙන්වීමට විශාල වෑයමක් දරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව, අධිකරණය, මැතිවරණ ක්‍රමය, රාජ්‍ය පරිපාලනය, විගණන ක්‍රියාවලිය, ආදිය සම්මත ප්‍රමිතීන් තුළ පවත්වා ගෙන යාමට උත්සාහ දරා ඇත.

නමුත්, ඓතිහාසිකව සුදු හාම්පුතාගේ දැක්මට ලක් නොවු පුද්ගල අවකාශය තුළ සිදු කරන ක්‍රියාකාරකම් හෙවත් පුද්ගලිකව කරන කටයුතු සම්බන්ධයෙන් එම ප්‍රමිතිය අදාළ නොවීය. ප්‍රසිද්ධ ජිවිතයේදී කලිසම, කමිස ඇඳ ටයිපටිය හා සපත්තුව පළඳින ශ්‍රි ලාංකිකයා ගෙදරට ඇතුලූ වු පසු උඩුකය වැසීමක් රහිතව නිකංම සරමක් ඇඳ ගන්නා සේ මෙය අපට ලාංකිකයාගේ පියවි ස්වරූපය ලෙස හඳුනා ගැනීමට පුලූවන.

රාජ්‍ය පාලකයන් ඉහත කී තර්කනය අනුව ක්‍රියාකරද්දී විසම්මුතික වන විරුද්ධ පක්ෂය හෝ සිවිල් සමාජය හෝ ක්‍රියාකරන්නේ ද එම තර්කයේ රාමුව තුළමය. ඔවුන් ද බටහිර රටවල සිටින සුදු හාම්පුතාගේ දැක්මට තමන් හසු වී ඇති බව අවිඥානිකව විශ්වාස කරති. එබැවින්

1 රාජ්‍ය පාලකයා විසින් කටයුතු කරන්නේ සුදු මිනිසා විසින් තනා අපට භාර දී ඇති සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූලව නොවන බව සුදු මිනිසාට පෙන්වා දීමට ඔවුහු කටයුතු කරති.

2 එයට ප්‍රතිපක්ෂව තමන් හැසිරෙන්නේ එකී සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුව බව සුදු මිනිසාට ඒත්තු ගැන්වීමට ඔවුහු වෙහෙසෙති. විරුද්ධ පක්ෂය, තමන් බලයට පැමිණි පසු එම සම්මතයන් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන අතර, සිවිල් සමාජය කවුරුන් බලයට පැමිණියත් තමන් එම සම්මතයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවටත්, එම බිඳ දෑමීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බවටත් ප්‍රකාශ කරති.


ලංකාවේ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව වර්තමානයේ පවත්නා කතා බහ විශ්ලේෂණය කිරීම මඟින් ඉහත දැක් වු ප්‍රවාදය සනාථ කිරීම සඳහා අපට උදාහරණ සපයා ගැනීමට පුලුවන.