Friday, June 20, 2008

සාමාන්‍යකරණය වූ හදිසි තත්ත්වය සහ හදිසියේ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස

සුදර්ශන ගූනවර්ධන

අප කුඩා කාලයේ කියවූ කතන්දර පොතක සඳහන් මෝඩ ලන්දේ පාසල් පැවැත්වෙන්නේ පහත සඳහන් ආකාරයටය

01. සති අන්තය පාසල් දින ලෙස නම් කර ඇති අතර, සතියේ දින පාසල් නිවාඩු දිනවේ.
02. පාසල් නිවාඩු කාලය ආරම්භ වන්නේ ජනවාරි පළමු වෙනිදා වන අතර නිවාඩු අවසන් වන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදාය.

මේ අනුව මෝඩ ලන්දේ ළමයින්ට නීතිය අනුව පාසල් දින හා නිවාඩු දින මෙන් නිවාඩු කාලයද වෙන්කර ඇති නමුත් ඔවුන්ට කිසිදා පාසල් නොපැවැත්වේ. එනම් හැමදාම නිවාඩුය.1960 සහ 70 ගණන් වල පැරගුවේ රාජ්‍ය පාලනය කළේ දක්ෂිණාංශික එ්කාධිපතියෙකු වූ ඇල්ෆ්‍රඩෝ ස්ට්රූස්නර්ය. පැරගුවේ හි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එරට සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අතර සියලූම මූලික අයිතිවාසිකම් සහ මහෝවිධ නිදහසද තහවුරු කර ඇත. කෙසේ වුවද, ස්ට්රූස්නර් ප්‍රකාශ කළේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට්වාදය හා නිදහස අතර ලෝක පරිමාණ අරගලයක් පවතින යුගයක බැවින් හදිසි තත්වයක් පැනවීමට සිදුව ඇති බවය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සදාකාලිකව කල් තැබුන අතර, නිරතුරුවම රට පාලනය කෙරුනේ හදිසි නීතිය යටතේය. හදිසි අවස්ථාවකදී සාමාන්‍ය නීතිය හෙවත් නීතියේ ආධිපත්‍ය අත්හිටුවන අතර විධායකය පරිපාලනයේ නියෝග සාමාන්‍ය නීතියට ඉහළින් පිහිටා එමගින් රට පාලනය වේ. හදිසි නීතිය අත්හිටු වී සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන දිනයක් එළැඹෙන්නේ සෑම වසර හතරකටම එක්වරක් එනම්, මැතිවරණ දිනයේදී පමණි. ඒ මැතිවරණය ‘නිදහස්’ ලෙස පැවැත්වීම සදහාය. මෙම මැතිවරණයන් හිදී ස්ට්රූස්නර්ගේ කොළරාඩෝ පක්ෂයට නැවතත් බලය හිමිවී රට පාලනය සදහා සුජාත භාවය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සීල් එක හිමිවේ. ඔහුගේ ප්‍රතිවාදීන් වන ‘නිදහසට අභියෝග’ කරන කොමියුනිස්ට්වාදීන් කෙතරම් බලවත්ද යන්න මැතිවරණයේදී කොළරාඩෝ පක්ෂය බලයට පත්වන්නේ සියයට අනූවක බහුතර ජන්දයකිනි !

පැරගුවේ රාජ්‍යයේදී සිදුව ඇත්තේ ‘හදිසි’ අවස්ථාව ‘සාමාන්‍ය’ තත්වය බවට පත්වී, ‘සාමාන්‍ය’ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ‘හදිසි’ කෙටි කාලයක් සඳහා අදාලවූ ව්‍යතිරේඛයක් වීම. කොමියුනිස්ට් වාදයට එරෙහිව කරන සටනේ නාමයෙනි.ලංකාව සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් පිළිගැනීමට සම්මුති මගින් බැඳී සිටින අතර මූලික අයිතිවාසිකම් සහ බහුවිධ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති රටකි. එහෙත් අපගේ පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කරන ආකරයට ඔවුන් ලෝකයේ දරුණුතම ‘ත්‍රස්තවාදී’ සංවිධානයට විරුද්ධව සටන් කරන බැවින් සදාකාලිකව දීර්ඝ කරන හදිසි නීතිය මගින් රට පාලනය කිරීමට සිදුවී තිබේ. මුළු ලෝකයම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක නිරතවී සිටින හෙයින් ලංකාවද අනුගමනය කරන්නේ එම වැඩ පිළිවෙල බවද, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ත්‍රස්තවාදින් විසින් අපට විරුද්ධව ආයුධයක් ලෙස පාවිච්චි කරන බැවින් එම නිදහස පොතේ තිබුණත් එය භාවිතා කිරීම සීමා කිරීමට සිදුවන බවත් අපට කියා ඇත.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බාලගිරිදෝෂය වැලදී තිබේ. ස්වාධීනව කටයුතු කළ යුතු කොමිසන් සභා සඳහා දේශපාලන පත්වීම් ලබාදී තිබේ. ලෝක ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කොමසාරිස් වරයෙකුට විශ්‍රාම යාම තහනම් කර තිබේ. ස්වභාවික යුක්තියට සරදම් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැමැති කැකිල්ලේ නීතිය යටතේ හිතුමතයට කැමැති කෙනෙක් කැමති කාලයක් රඳවා තබා ගැනීමට අවකාශ තිබේ.

මෙවැනි වාතාවරණයක් යටතේ තවත් පළාත් සභා දෙකක් සඳහා මැතිවරණ කැඳවා ඇත. නැ‍ෙගනහිර මැතිවරණයෙන් විපක්ෂයටත්, මැතිවරණ නිරීක්ෂකයින්ටත් ඇතිවූ තුවාල වේලෙන්නටත් පෙර කැඳවා ඇති මේ මැතිවරණය වනාහී සාමාන්‍යකරණය වූ හදිසි තත්වය මොහොතකට අත්හිටුවා සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ මොහොතට පමණක් මවා පෙන්වන මැජික් එකකි. විරුද්ධ පක්ෂය මේකනම් කොහොම හරි දිනා ගන්නවා යනුවෙන්ද, නිරීක්ෂකයන් මෙදා පාර හරියට නිරීක්ෂණය කරනවා යනුවෙන්ද සිතමින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇදගන්නා කෙමනකි.

1 comment:

rightsnow said...

im nihal
nice blogger