Monday, June 9, 2008

ඔන්න, සුද්දා බලාගෙන ඉන්නවා.

සුදර්ශන ගූනවර්ධන...................

චිත්‍රපටයක ශෘංගාරාත්මක ජවනිකාව රඟපාන නලූ-නිළි යුවළක් ගනිමු. ඔවුන් තමාට අදාළ ජවනිකාව රඟපාන විට කැමරා(කරුගේ) ඇස තමා වෙත යොමු වී ඇති බව ඔවුහු දනිති. එනම් ඔවුන් කැමරාවේ දැක්මට හසු වී ඇත.
තේ වත්තක දලූ නෙළන ගැහැණුන් පිරිසක් තම කාර්යය කරන විට කංකානි හෙවත් වැඩ සුපරීක්ෂක තමා කරන කාර්යය දෙස බලා සිටින බව දනියි. එනම් ඔවුන් කංකානිගේ දැක්මට හසු වී ඇත.

සියවස් ගණනක් සුදු හම ඇති අධිරාජ්‍යවාදීන් යටතේ ජිවත් වු යටත්විජිත වැසියන් වන අපි මහජන අවකාශය තුළ අප සිදු කරන ක්‍රියාකාරකම් සුදු අධිරාජ්‍යවාදී හාම්පුතාගේ සුපරීක්ෂණයට හෙවත් දැක්මට ලක්ව තිබෙනු අත්දැක පුරුදුය. වසර 60 කට පෙර සුදු හාම්පුතා භෞතිකව මෙරට හැර ගියද තවමත් ඔහුගේ අවතාරය, අප මනසේ හොල්මන් කරන බැවින් අප අවිඥානිකව සිතන්නේ තවමත් ඔහුගේ දැක්මට අප ලක් වී ඇති බවයි.

නිදහස ලබාගෙන රටේ පාලනය ස්වදේශිකයන් විසින් භාරගත් දා සිට අප කටයුතු කර තිබෙන්නේ සුදු මිනිසාගේ දැක්ම අප වෙත වැටී ඇත යන විශ්වාසයෙනි. එබැවින් අපි මහජන අවකාශය තුළ නැත්නම් ප්‍රසිද්ධියේ කථා කරන කටයුතු සුදු මිනිසා විසින් අපට සාදා දෙන ලද සම්මතයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බව පෙන්වීමට විශාල වෑයමක් දරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව, අධිකරණය, මැතිවරණ ක්‍රමය, රාජ්‍ය පරිපාලනය, විගණන ක්‍රියාවලිය, ආදිය සම්මත ප්‍රමිතීන් තුළ පවත්වා ගෙන යාමට උත්සාහ දරා ඇත.

නමුත්, ඓතිහාසිකව සුදු හාම්පුතාගේ දැක්මට ලක් නොවු පුද්ගල අවකාශය තුළ සිදු කරන ක්‍රියාකාරකම් හෙවත් පුද්ගලිකව කරන කටයුතු සම්බන්ධයෙන් එම ප්‍රමිතිය අදාළ නොවීය. ප්‍රසිද්ධ ජිවිතයේදී කලිසම, කමිස ඇඳ ටයිපටිය හා සපත්තුව පළඳින ශ්‍රි ලාංකිකයා ගෙදරට ඇතුලූ වු පසු උඩුකය වැසීමක් රහිතව නිකංම සරමක් ඇඳ ගන්නා සේ මෙය අපට ලාංකිකයාගේ පියවි ස්වරූපය ලෙස හඳුනා ගැනීමට පුලූවන.

රාජ්‍ය පාලකයන් ඉහත කී තර්කනය අනුව ක්‍රියාකරද්දී විසම්මුතික වන විරුද්ධ පක්ෂය හෝ සිවිල් සමාජය හෝ ක්‍රියාකරන්නේ ද එම තර්කයේ රාමුව තුළමය. ඔවුන් ද බටහිර රටවල සිටින සුදු හාම්පුතාගේ දැක්මට තමන් හසු වී ඇති බව අවිඥානිකව විශ්වාස කරති. එබැවින්

1 රාජ්‍ය පාලකයා විසින් කටයුතු කරන්නේ සුදු මිනිසා විසින් තනා අපට භාර දී ඇති සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූලව නොවන බව සුදු මිනිසාට පෙන්වා දීමට ඔවුහු කටයුතු කරති.

2 එයට ප්‍රතිපක්ෂව තමන් හැසිරෙන්නේ එකී සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුව බව සුදු මිනිසාට ඒත්තු ගැන්වීමට ඔවුහු වෙහෙසෙති. විරුද්ධ පක්ෂය, තමන් බලයට පැමිණි පසු එම සම්මතයන් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන අතර, සිවිල් සමාජය කවුරුන් බලයට පැමිණියත් තමන් එම සම්මතයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවටත්, එම බිඳ දෑමීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බවටත් ප්‍රකාශ කරති.


ලංකාවේ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව වර්තමානයේ පවත්නා කතා බහ විශ්ලේෂණය කිරීම මඟින් ඉහත දැක් වු ප්‍රවාදය සනාථ කිරීම සඳහා අපට උදාහරණ සපයා ගැනීමට පුලුවන.